Friday, November 9, 2018

හැන්දෑවක..✒️



රොබරෝසියා මල් ඉහුණ
තුරු පියස්සක හෙවණක..
මුකුළු කතාවක රස පහස විඳ
හැන්දෑවක ළඟ ඉන්න..
ඈතින් ඇසෙන කුරුලු කෑගැසිල්ලක
බිදුණු ස්වර අහුලා අමුණන්න
ඉස්පාසුවක් තිබුණා නම් 
හැන්දෑවක ළඟ තනිවෙන්න...
සුළං කැරැල්ලක දැවටී
කෝල වන ලපල්ලක
සිහිලස නුඹ කොපුලතින්
උදුරා තවර ගමි උවනත
මන්දාරම් හැන්දෑවක 
සීරූවට
අතීතය ට සමරුවක් වන්නට.....

🍀සුමුදු අමරසේකර (09.11. 2018)🍀



Sunday, October 21, 2018

 
  - අළු පැහැති ආරංචි-  ලියනගේ අමරකීර්ති

      මා ප්‍රියතම නීල වර්ණයයි.ඔබේ තේරීම තවෙකක් විය හැක.
    අපි දකිනා ඇතැම් සිහින වලද තැවරුණු පාටක් ඇත. පාට පාට හීන සේම කලු සුදු හීන ද ඒ අතර අපැහැදිලි හීන ද වෙයි...

  එවන් අපැහැදිලි හීනයක් වර්ණ ගන්වන්නට ඔබ කිනම් වර්ණයක් තෝරාගනීදැයි තේරුම් ගැනීමට මා අසමත් නමුත් මගේ තේරීම අළු යැයි නිශ්චිතවම කිව හැක.

 දෘශ්‍යමාන යමකට මා විඥානිකව හෝ අවිඥානිකව මෙතෙක් පැහැයක් එක්කරන්නට ප්‍රයත්න කළෙද මේ, ශ්‍රව්‍ය ගෝචර වූ යමක් පැහැයක් ගැන්වීම මා අපූර්වත්වයට පත් කළ නිමේශයකි.

මන්දයත් ලියනගේ අමරකීර්ති අකුරු ඇමුණූ අළු පැහැති ආරංචි මා වික්ෂිප්ත භාවපූර්ණ ලොවකට කැඳවා සිරගතකළ නිසාවෙනි .

 ඉන් මිදුණු කළ මා යලි යලිත් යලි යලිත් එහිම ගොස් රැඳීමේ ඵල විපාකය එහි වූ රස ගුලාවේ ඔබවත් ඔබ්බවා තැබීමට තීන්දු ගැනීමයි..

කවියෙකු සොය හි..
ඇතැම් වාගාලාප මට ද සමපාත වූයේන් මා වසඟ කළ උපුටා ගැනුම් කිහිපයක් බෙදාගනු රිසියෙමි .

අළු පැහැති ආරංචි හී කූටප්‍රාප්තිය "කවියෙකු සොයා" නම් වූ ඇරඹුම ම වේ යයි මගේ තර්කයයි.

එහි වූ "කවියා-කථකයා" හමුව මෙසේය .

"සාලයට විවෘත වන මගේ පෞද්ගලික පුස්තකාලයේ දොර තුළින් කවියා එබී බැලුවේ කුතුහලය ද ගිජුබවද පිරි දෑසිනි.එතරම් විශාල පෞද්ගලික පොත් එකතුවක් ඔහු මින් පෙර දැක නැති බව දෑසේ සටහන් විය "

"හප්පා පොත් ගොඩ සර්.මෙව්වා ඔක්කොම කියෝල තියෙනවා ද?"

"ගොඩක් ඒවා සම්පූර්ණයෙන් කියවලා තියෙනවා.සමහර ඒවා දෙතුන් පාර කියෝල තියෙනවා.සමහර ඒවා ටිකක් කියෝල තියෙනවා.හැම එකම ටික ටික වත් බලලා තියෙනවා.සමහර ඒවා කියවන එක හැමදාම කල් දානවා. ඔහොම තමයි ඉතිං."

"මගේ බිරිඳ වැදගත් මහත්මයෙකු මුණ ගැසීමට සුදුසු ඇඳුමක් හැඳ තේ බන්දේසියක් රැගෙන ආවාය."

  "මාත් ඔයාගෙ කවි කීපයක් කියෙව්වා.එව්වා හරි ලස්සනයි .ඇය කවියාට කීවාය .කවියා කිසිවක් නොකීවේය .ඇය එය මට කීවේ යැයි සිතන්නාක් මෙනි.තෑන්ක් යූ කියූ ඔහු කේක් කෑල්ලක් අතට ගෙන කෑවේ සෑහෙන්න කුසගින්නකින් පෙළෙන්නෙකු ලෙසය.ඔහු තේ කෝප්පය බිව්වේද එවැනිම වේගයකිනි."

"කවියා තේ කෝප්පය ට්‍රේ එක මත තබා බෑග් එක ඇරියේය."

"මේක වචන අනූදාහක් තියෙන ඩික්ෂනරි එකක්.ඔහු කීවේ ඒ අනූදාහම දන්නා කෙනෙකුගේ ස්ථිර විශ්වාසයෙනි."

"මේක සර්ට චාජ් කරන්ඩ පුළුවන් ටෝච් එකක්.මාර ඈතට වදිනවා."

"ඔහු එය මගේ පොත් රාක්ක අතර අඳුරු තැන් වලට අල්ලා පෙන්නුවේය.මමද පුටුවෙන් නැමී එළිය වදින දෙස බැලීමි.එළිය වදින පොත් වල නම් ඈත සිට කියවන්නට පවා මට හැකිය."

"කොහොමත් මම විදුලි පන්දම් වලට කැමැත්තෙමි .ආලෝකය හරහා ඇදී ගොස් අඳුරුව පවතින තැනක් ආලෝක කරන සැටි මගේ පුදුමයට හේතු වන දෙයකි.එළිය වන්නේ ආලෝකය ගමන් කරන තැනටත් වඩා එය පතිත වන තැනය.එය කවියා කරන දේට සමානය."

"දොර දෙසට හැරී බැලූ කවියා අමුත්තාගේ පොලිස් නිල ඇඳුම දැක තැති ගත්තේය" "ඔහුගේ මුහුණේ භීතිය ලියවිණි."

"ප්‍රොෆෙසර්... මම එස්අයි සමරකෝන් .පේරාදෙණිය පොලීසිය .මම දවස් කීපයක් ම අපේ මේ හාදයාව ෆලෝ කෙරුවා.පුතා මේ ඉන්නේ රටේම ප්‍රසිද්ධ මහාචාර්ය කෙනෙක්.මේ මහත්තයයි අර අතන ගෙදර මහත්තයයි දෙන්නම දැන් අමාරුවෙ වැටෙන්ඩයි යන්නෙ.පුතාව පොලීසියට ගෙනිහිං අර දෙක හරි තුනම හරි ලාච්චුවේ දාල එහෙම නැත්නං පස්ස පැත්තෙ එස්ලෝන් බට ඇරල අපිට ඇත්ත අහගන්න පුළුවන් .එහෙම තමයි අපි සාමාන්‍යයෙන් කරන්නෙ"

"උපපොලිස් පරීක්ෂකවරයා කතා කළේ ඉතා සාමාන්‍යය, එහෙත් බරපතළ ස්වරයෙනි"

"දැන් පුතා අඬන්නෙ හිත රිදිලනෙ.ඒක හොඳයි.පොලීසියට අරන් ගියොත් ඇඟ රිදිලා තමයි අඬන්න වෙන්නේ .මැඩම් මෙයාට දෙන්න ටිෂු එකක් ."

"හරි පිහගන්ඩ ඔය කඳුළු ,හොටු, කබ ,සෙම සේරම ... චූත් යනවද? නෑනේ ?ටොයිලට් යන්ඩෝනෙද? නෑනේ ? පොලිස්කාරයාගේ හඬ ගොරහැඩි වෙමින් තිබිණි."

"අන්තිමට තමුසෙට මොනවාද කියන්ඩ තියෙන්නෙ .පොලිස් නිලධාරියා ඇසුවේය .කවියා අඩන්නට පටන්ගත්තේය."

"කවියාගේ දෑසින් නොනැවතී කඳුළු  ගැලුවේය.මමද හිතෙන් වැළපුණෙමි.ඒ පොලිසියේ පැමිණීම වලක්වාගත නොහැකි වීම ගැනය."

"තමුසෙ දැන් යනවා.මං තමුසෙව නිදහස්කරලා යවන්නෙ මේ සර් හින්දා."

"කවියා ගිය පසු ගරාජය වෙත ගිය පොලිස් නිලධාරියා  සිවිල් ඇඳුම් කට්ටලයක් රැගෙන විත් මගේ පුස්තකාලයට ගොස් ඇඳුම් මාරු කරගත්තේය."

ඒ එකකි."එකම පුතා" අනෙකය.තවත් පංචකයකි.
සෝ බර සමය ,
ඉඩි අමීන් සහ වැලිමඩ සමන්,
දෙවන රංගනය,
අළු පැහැති ආරංචි    හා   හදවත සිඳුණු තැන 'නයින්
  එකිනෙකට වෙනස්, රස උතුරන , ස්මෘතිය පලවා හරින රස මංජුසාවකි.

      එබැවින් මම කියවීමට රිසි ඔබට අභියෝග කරනු කැමැත්තෙමි. හැකිනම් මිදෙනු එහි රස පහස තොල ගා නොඇලී නොගැටී...අතැර ..

  එකිනෙකට වෙනස් ජීවිත කතා උරුම අපි , අපේ ජීවිත පාට කරනු වස් බොහෝ උත්සුක වන්නෝ නොවෙමු ද?

    වෛවර්ණ ලෝකයේ අපේ හීන , අපේ ජීවිත  සහ අපි , (අ)වර්ණ මුසු සිත්තමක  හැඩ තල යැයි මට හැඟේ. ඉදින් අවසර අසන්නට  "අළු පැහැති ආරංචි" 





සුමුදු අමරසේකර (2018.10.21)





Saturday, October 20, 2018

අනන්ත දේශයෙන් ඔබ්බට..



අනන්ත දේශයෙන් ඔබ්බට
============================

ඔබ ලෝකය ගැන හෝ ඔබේම ජීවිතය ගැන කෙසේ, කවදා, කවරෙකුගෙන් උගත්තේ දැයි විපරම් කර ඇති ද ? නොඑසේනම් ලෝකය හා ජීවිතය පිළිබඳ විමසමින් පිරික්සමින් අත් හදා බලමින් තවදුරටත් පසුවන්නේද..?
ශමෙල් ජයකොඩිගේ "අනන්ත දේශය" කියවා නිම කරන මොහොතේ පසුවදනක් තබන්නට අතැගිලි වෙහෙසෙන්නේ එහි කතානායිකාව ස්වකීය ජීවිතයේ උගැන්ම අපූර්වත්වයෙන් හෙළිදරව් කිරීම නිසාවෙන් විය හැක.මන්ද ඇය ජීවිතය හබා යයි.ජීවිතය සොයයි..ජීවිතය උගනියි . ඔබේ මගේ ජීවිතයට නිර්වචනයක් තබන්නට ඉඟිකරයි..

තාත්තාගේ ඇසින් ලෝකය දකින ඇය ජීවිතය පිළිබඳ තාත්තාගේ නිර්වචනය විග්‍රහ කරයි.
"ජීවිතය යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විඳිය යුත්තක් බව තාත්තා ඔහුගේ මිතුරන් සමඟ නිතර පැවසුවේ ය.සීමා මායිම් නොමැතිව ජීවිතය සර්ව සම්පූර්ණයෙන් භුක්ති විඳින්නට උත්සාහ නොගෙන ලෝකයේ පවතින කිසිවක් විවේචනය කිරීමට ඔහු සූදානම් වූයේ නැත.ඔහුට අනුව රට පුරා ඇවිදිමින් මිනිසුන් ජීවත්වෙන අන්දම අත්විඳිය යුතුය .ලෝකය ගවේෂණය කළ යුතුය .ආදරය හා විරහව අතික්‍රමණය කළ යුතුය .එවිට පුද්ගලයෙකු සංතෘප්තියට ළඟා වන්නේය.හදවත තුළ සැඟවී ඇති ජාති වාදී,ආගම් වාදී හැඟීම් නොදැනීම පළා යන්නේය.කිසිවක් සමඟ කෝපයට පත් නොවන මැදහත් සිතක් ළඟා කර ගත හැක්කේ එලෙසය"

ඇයව ස්වකීය ජීවන දර්ශනය ට අනුගත් කිරීමට වෙහෙස වූ පියා නිරායාසයෙන් ම කියවීමට ඇබ්බැහි කරවයි .

"පොත් කියවන කෙනෙක්ට ලෝකය විශාල එකක් කියලා පෙනෙන්න ගන්නවා .පොත් කියවද්දි ලෝකය දෙගුණයක් රස විඳින්නත් ඉඩ ලැබෙනවා.ලොකුම දේ තමයි පොත් කියවන කෙනෙක්ට කවදා හරි තමන් තනිවෙන දවසක හුදකලාවක් කියලා දෙයක් දැනෙන්නෙ නැති එක."

ඇගේ ඒ බාලවියේ ලත් උගැන්ම පන්නරයක් වන්නේ ජීවිතයේ නැග්ම බැස්ම හා ඒ අතරත දෝලනයේ ද , පශ්චිම භාගය තෘප්තියෙන් ගෙවන්නට ඉඩහසර විවරණය කරමිනි .

ඇය චෙස් ක්‍රීඩාවට අත් පොත තබන්නේද ස්වකීය ජීවිතය ට ඌණපූරණය ලෙසිනි. තාත්තා එදා කළ මඟ පෙන්වීම නොවන්නට ඇය කායිකව මෙන්ම මානසිකව ද අකර්මණ්‍ය ගැහැනියක් වීමට නිසැකවම ඉඩ තිබුණි .එදා ඇගේ ඉගෙනුම වූයේ

"සැබෑ ලෝකයත්,චෙස් ක්‍රීඩාවත් අතර ඇත්තේ සමාන බවකි .චෙස් ලෑල්ල මත ඉත්තන් ගමන් කරන්නේ ද්වීමානව නමුත් තරඟකරුවාගේ සිතත් සමඟ එය ත්‍රිමාන ලෝකයක් බවට හැරෙන්නේ ය.මිනිසුන්ගේ ජීවත්වීමේ සටන ඒ අයුරින්ම චෙස් ලෑල්ල මත දිග ඇරෙන බව කල්පනාවෙන් එය දෙස බලා සිටින්නෙකුට තේරුම් ගත හැක ."
යනුවෙනි .

අම්මා කෙරෙහි අපැහැදීමක් ඇතිව ජීවිතය ගෙවා දමන ඇය මව අතැර නිවසින් වරෙක පළා යයි.

නමුදු ඇතමෙකු වත්මන ජීවිතයෙන් පලා යන්නා සේ නොව ගැටුම් වැටුම්, තාඩන පීඩන , නින්දා ගැරහුම්,ප්‍රතික්ෂේප වීම් සියල්ල මැද්දේ ස්වකීය ආත්මදමනය ඔස්සේ ආත්මතෘප්තිය හබා යමිනි.

අනන්ත දේශයේ දරුවෝ සම්මත අසම්මත , නීතිය අවනීතිය හමුවේ ඔද්දල්ව සිහිවිකලෙන් ඔබ්බට වරෙක ස්වකීය කතාව, භූමිකාව වෙනස් කරමින්ද අනෙකා තෘප්ත කරවන ලෙස ජීවීත කතාවට පැලැස්තර අලවමින් ද ජීවිතය ගෙවති.ජීවිතය හබා යති. ජීවිතය සොයා යති.ඒ අතරත මම ද ඔබ ද ඔවුන්ගේ ජීවිත කතාවේ සමහරෙකු වී හිඳියා විය හැක .නොඑසේනම් නම් අපේ කතාවේ ඔවුන් චරිත වූවා විය හැක.

සුමුදු අමරසේකර ( 2018.10.20 )..✒️

Sunday, May 6, 2018

Unsaid truth..👓





Overflowing joy
 left alone aside..
Leaving noisy days 
 to arise..
Colourful world though give 
 so shine..
Never catches the pain 
 inside..
Only ;
 the wind was
 there to question ...
Silence heaped up the replies 
around..
Quench and hunger battle 
beside..
Flats and mall they covered all aside..
Didn't we decay 
before we thought to lie...


Sumudu Amarasekara 
      (2018.05.07 @ 9.20a.m)

Tuesday, March 13, 2018

සැහැල්ලුව

හඹා ආ මඟ 
විඩා දෙන දෙපා 
මත..
සැහැල්ලුව තව දුර ද 
නවතින්න ඉමක් වෙ ද  ..

රිදුම් හද සනහා 
පවන් වැල් ගී මුමුණ 
කියන් මට රහසින්
සැහැල්ලව තව දුර ද..
නොවෙද කෙටි මඟ ක් වෙන...

සුමුදු අමරසේකර 13.03.2018

වීනස්ගේ උපත

වීනස්ගේ උපත - ශමෙල් ජයකොඩි ============================== "ඉතිරිව තිබුණේ ආලය කිරීමය; නැති නම් අරගල කිරීමය.මගේ අවාසනාවට මා තෝරාගෙන...