Saturday, October 20, 2018

අනන්ත දේශයෙන් ඔබ්බට..



අනන්ත දේශයෙන් ඔබ්බට
============================

ඔබ ලෝකය ගැන හෝ ඔබේම ජීවිතය ගැන කෙසේ, කවදා, කවරෙකුගෙන් උගත්තේ දැයි විපරම් කර ඇති ද ? නොඑසේනම් ලෝකය හා ජීවිතය පිළිබඳ විමසමින් පිරික්සමින් අත් හදා බලමින් තවදුරටත් පසුවන්නේද..?
ශමෙල් ජයකොඩිගේ "අනන්ත දේශය" කියවා නිම කරන මොහොතේ පසුවදනක් තබන්නට අතැගිලි වෙහෙසෙන්නේ එහි කතානායිකාව ස්වකීය ජීවිතයේ උගැන්ම අපූර්වත්වයෙන් හෙළිදරව් කිරීම නිසාවෙන් විය හැක.මන්ද ඇය ජීවිතය හබා යයි.ජීවිතය සොයයි..ජීවිතය උගනියි . ඔබේ මගේ ජීවිතයට නිර්වචනයක් තබන්නට ඉඟිකරයි..

තාත්තාගේ ඇසින් ලෝකය දකින ඇය ජීවිතය පිළිබඳ තාත්තාගේ නිර්වචනය විග්‍රහ කරයි.
"ජීවිතය යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විඳිය යුත්තක් බව තාත්තා ඔහුගේ මිතුරන් සමඟ නිතර පැවසුවේ ය.සීමා මායිම් නොමැතිව ජීවිතය සර්ව සම්පූර්ණයෙන් භුක්ති විඳින්නට උත්සාහ නොගෙන ලෝකයේ පවතින කිසිවක් විවේචනය කිරීමට ඔහු සූදානම් වූයේ නැත.ඔහුට අනුව රට පුරා ඇවිදිමින් මිනිසුන් ජීවත්වෙන අන්දම අත්විඳිය යුතුය .ලෝකය ගවේෂණය කළ යුතුය .ආදරය හා විරහව අතික්‍රමණය කළ යුතුය .එවිට පුද්ගලයෙකු සංතෘප්තියට ළඟා වන්නේය.හදවත තුළ සැඟවී ඇති ජාති වාදී,ආගම් වාදී හැඟීම් නොදැනීම පළා යන්නේය.කිසිවක් සමඟ කෝපයට පත් නොවන මැදහත් සිතක් ළඟා කර ගත හැක්කේ එලෙසය"

ඇයව ස්වකීය ජීවන දර්ශනය ට අනුගත් කිරීමට වෙහෙස වූ පියා නිරායාසයෙන් ම කියවීමට ඇබ්බැහි කරවයි .

"පොත් කියවන කෙනෙක්ට ලෝකය විශාල එකක් කියලා පෙනෙන්න ගන්නවා .පොත් කියවද්දි ලෝකය දෙගුණයක් රස විඳින්නත් ඉඩ ලැබෙනවා.ලොකුම දේ තමයි පොත් කියවන කෙනෙක්ට කවදා හරි තමන් තනිවෙන දවසක හුදකලාවක් කියලා දෙයක් දැනෙන්නෙ නැති එක."

ඇගේ ඒ බාලවියේ ලත් උගැන්ම පන්නරයක් වන්නේ ජීවිතයේ නැග්ම බැස්ම හා ඒ අතරත දෝලනයේ ද , පශ්චිම භාගය තෘප්තියෙන් ගෙවන්නට ඉඩහසර විවරණය කරමිනි .

ඇය චෙස් ක්‍රීඩාවට අත් පොත තබන්නේද ස්වකීය ජීවිතය ට ඌණපූරණය ලෙසිනි. තාත්තා එදා කළ මඟ පෙන්වීම නොවන්නට ඇය කායිකව මෙන්ම මානසිකව ද අකර්මණ්‍ය ගැහැනියක් වීමට නිසැකවම ඉඩ තිබුණි .එදා ඇගේ ඉගෙනුම වූයේ

"සැබෑ ලෝකයත්,චෙස් ක්‍රීඩාවත් අතර ඇත්තේ සමාන බවකි .චෙස් ලෑල්ල මත ඉත්තන් ගමන් කරන්නේ ද්වීමානව නමුත් තරඟකරුවාගේ සිතත් සමඟ එය ත්‍රිමාන ලෝකයක් බවට හැරෙන්නේ ය.මිනිසුන්ගේ ජීවත්වීමේ සටන ඒ අයුරින්ම චෙස් ලෑල්ල මත දිග ඇරෙන බව කල්පනාවෙන් එය දෙස බලා සිටින්නෙකුට තේරුම් ගත හැක ."
යනුවෙනි .

අම්මා කෙරෙහි අපැහැදීමක් ඇතිව ජීවිතය ගෙවා දමන ඇය මව අතැර නිවසින් වරෙක පළා යයි.

නමුදු ඇතමෙකු වත්මන ජීවිතයෙන් පලා යන්නා සේ නොව ගැටුම් වැටුම්, තාඩන පීඩන , නින්දා ගැරහුම්,ප්‍රතික්ෂේප වීම් සියල්ල මැද්දේ ස්වකීය ආත්මදමනය ඔස්සේ ආත්මතෘප්තිය හබා යමිනි.

අනන්ත දේශයේ දරුවෝ සම්මත අසම්මත , නීතිය අවනීතිය හමුවේ ඔද්දල්ව සිහිවිකලෙන් ඔබ්බට වරෙක ස්වකීය කතාව, භූමිකාව වෙනස් කරමින්ද අනෙකා තෘප්ත කරවන ලෙස ජීවීත කතාවට පැලැස්තර අලවමින් ද ජීවිතය ගෙවති.ජීවිතය හබා යති. ජීවිතය සොයා යති.ඒ අතරත මම ද ඔබ ද ඔවුන්ගේ ජීවිත කතාවේ සමහරෙකු වී හිඳියා විය හැක .නොඑසේනම් නම් අපේ කතාවේ ඔවුන් චරිත වූවා විය හැක.

සුමුදු අමරසේකර ( 2018.10.20 )..✒️

No comments:

වීනස්ගේ උපත

වීනස්ගේ උපත - ශමෙල් ජයකොඩි ============================== "ඉතිරිව තිබුණේ ආලය කිරීමය; නැති නම් අරගල කිරීමය.මගේ අවාසනාවට මා තෝරාගෙන...